හැමදාම ලිපිම ලියන එකේ අද හිතුනා කථාවක් ලියන්න. මේක අපි බස් එකේ යද්දි අපේ සෙට් එකේ යාළුවෙක් කියපු කථාවක්. පැය දෙකහමාරක් විතර ගමනට යන නිසා පිස්සු විකාර කරකර තමා යන්නේ. වැඩි කතා නැතිව කතන්දරේ කියන්නම්කෝ.... මෙන්න මේකයි බොලේ කථාව.
ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක හිටියලු දඩයක්කරයෙක්. මෙයා කරන්නේ කැලේට ගිහින් සත්තු දඩයම් කරල සිදාදියට ඒවා විකුණන එකයි. ඉතින් මෙයාට හිටියලු පුතෙක්. එයාට වයස අවුරුදු හයක් හතක් විතර ඇතිලු. කොල්ලා හෙන දඟයලු. මේකටත් හිතුනලු තාත්තත් එක්ක දඩයමේ යන්න. ඉතිං මු තාත්තා ළඟට ඇවිල්ලා කියනවලු “ අනේ තාත්තේ අද මාවත් එක්කගෙන යන්නකෝ... මාත් ආසයි දඩයමේ යන්න” කියලා. තාත්තා දන්නවනේ මෙකගේ හැටි එක තප්පරයක්වත් නිකන් ඉන්නෙ නැති එකා එක්ක කොහොමද දඩයමේ යන්නේ. එහෙම හිතල තාත්ත කියනවලු මේකව බය කරන්න “ පිස්සු කතාකරන්නෙපා පුතේ ඔයාව කොහොම එක්කගෙන යන්නද කැලේ මහ බයානක සත්තු ඉන්නවා. ඊටත් වඩා දඩයම් කරද්දි සද්ද නැතුව ඉන්න ඕනේ. ඒකහින්ද මගෙපුතා ගෙදර ඉන්න” කියලා. ඒ වුනාට කොලුවත් ලපටියෙන් අරින්නේ නැතිලු මූටත් ඕනේ කොහොම හරි දඩයමේ යන්නමයි. අන්තිමට තාත්තට වැඳල වගේ මේකා කියනවලු “ අනේ තාත්තෙ මම සද්ද කරන්නේ නැතිව ඉන්නම්. මං බය වෙන්නෙත් නැතුව ඉන්නම්. අනේ මාවත් එක්කරගෙන යන්නකෝ” කියලා. අන්තිමටම තාත්තටත් කියල කියල බැරිම තැන කැමති උනාලු මේකව දඩයමේ යද්දි එක්කරගෙන යන්න.
ඔ න්න ඉතිං දෙන්න සුබ මොහොතින් රාහු කාලෙ එහෙම මග ඇරල දඩයමේ යන්න පිටත් උනාලු. කැලේට ඇතුල්වෙද්දිම තාත්ත පුතාට කියනවලු “ ඔන්න කොලුවෝ මොන දේ උනත් කෑගහන්න සද්ද කරන්න එහෙම එපා” කියලා. කොලුවත් “ හරි තාත්තේ මම සද්ද නැතුව ඉන්නම් ” කියල පොරොන්දු උනාලු. ඉතිං මෙහෙම දෙන්නත් එක්ක කැලේ ඇතුලට ඇවිදගෙන යද්දි දැක්කලු ඈත මුමෝ රංචුවක් ඉන්නවා. තාත්ත කොල්ලට කිව්වලු “ පුතේ එහෙනම් ඔයා මෙන්න මේ ගහ යටින් වාඩිවෙලා ඉන්න. හැබැයි කොහේවත් යන්නවත් සද්ද කරන්නවත් එපා” කියලා. තාත්තා මෙහෙම කියලා කොල්ලව ගහ යටින් වාඩිකරවලා තාත්තා ගියාලු මුව රංචුව ඉන්න පැත්තට.
හොඳට හැදුන තඩි මුව නාම්බෙක්ට ඉලක්ක කරලා වෙඩිතියන්න හදනකොටම...... “බුදු අම්මෝ මා නැතෝ.....!” කියල කොල්ල කෑගහන්න ගත්තලු.මුවෝ ටික පැනල දිව්වලු. තාත්තට යකා නැග්ගලු. යක්සාරූඩ වෙලා කොල්ලගෙන් මෙහෙම අහනවලු. “ ඈ බොල තොට මං සංහලෙන් කිව්වා නේද කෑගහන්න, සද්ද කරන්න එපා කියලා. මොකද යකෝ කෑගැහුවේ. බලපිය අද දඩයමක් කරගන්නත් නැතිවුනා” කියලා. කොල්ලා බොහොම බයාදු අසරණ විදිහට තාත්තට කියනවලු “ අනේ තාත්තේ බනින්නෙපා තාත්ත දන්නෙ නැහැනේ මට වෙච්චදේ” කියලා. තාත්තට තවත් මල පැන්නලු. “ එහෙනම් කියපිය බලන්න තොට වෙච්චදේ” කියලා තාත්තා කිව්වලු. ඔන්න ඉතිං අපේ මේ කොලු පැටියා ඌට වෙච්ච ඇබැද්දිය කියන්න පටන්ගත්තලු මෙන්න මෙහෙම.....
“ ඔන්න තාත්තේ මම මෙතන වාඩිවෙලා ඉන්න කියලා තාත්තා ගියානේ. ඉතිං මං මෙතන වාඩිවලා සද්ද නැතුව හිටියා. ඔහොම ඉන්නකොට මහ සද්දන්ත කොටි නාම්බෙක් පැන්නනේ දත් විලිස්සගෙන මගේ ඉස්සරහට. පැනලා මහ හයියෙන් ගොරව ගොරව මගේ ඇඟට පනින්න හැදුවා. ඒත් මං හෙල්ලෙන්නේ නැතිව සද්ද නැතුව හිටියා. පස්සේ ඌටම එපා වෙලා යන්න ගියා. ඊට පස්සේ ඔන්න තඩි වලහෙක් ආවා ඇවිල්ලා නියපොතු දික්කරලා මාව හූරන්න හැදුවා. මට ගොරවලා මගේ ඇඟට පනින්න හැදුවා. ඒත් මං සද්ද කලේ නැහැ. ඔන්න ඊට පස්සේ තඩි පිඹුරෙක් මේ ගහෙන් වැටුනා මගේ ඇඟට. වැටිලා ඌ මාව ලොගෙන ගිලින්නනේ හැදුවේ... ඒත් මං සද්ද නැතුවම හිටියා. පස්සේ ඌටම කම්මැලි හිතිලා වෙන්නැති යන්න ගියා.” තාත්තාට දැන් රතු කට්ටත් පැනලලු. ඒ මලෙන්ම කොලුවගෙන් අහනවලු “ එහෙනම් යකෝ මොන අහවල් එකකටද තෝ බෙරහන් දුන්නේ” කියලා. කොල්ලා කියනවලු “ පොඩ්ඩක් ඉන්නකෝ තාත්තේ මං තාම වෙච්චදේ කියල ඉවර නැහැනේ” කියලා.
“ඔන්න පිඹුරා ගියාම මං ඉතිං සද්ද නැතුව ගහ යටට වෙලා හිටියා. ඔහොම ඉන්නකොට ලේන්නු දෙන්නෙක් ආවා. කොටින්ට වලස්සුන්ට පිඹුරන්ට බයනැති මං මේ ලේනුන්ට මොකට බය වෙන්නද කියලා සද්ද නැතුව හිටියා. ඉතිං මේ ලේන්නු දෙන්නා මගේ ළඟටම ආවා. මං සද්ද නැතුවම හිටියා. පස්සේ මේ ලේන්නු දෙන්නා මගේ කකුල දිගේ උඩටම නැග්ගා. මං ඒත් සද්ද කලේ නැහැ. පස්සේ මුන් දෙන්නා මගේ අර අතෙන්ටම ආවා. ඒ ත් මං සද්ද කලේ නැහැ. ඊට පස්සේ මට මෙහෙම සද්දයක් ඇහුනා “ ඈ තාත්තේ අපි මේ දෙක දැන් කනවද ගෙදර අරන් ගිහින් කනවද ” කියලා. අනේ බුදු තාත්තේ.....මට ඒ පාර තමා කෑගස්සුනේ. ඒ විතරක් නෙමේ මට කලන්තේ නොහැදුනා විතරයි. මේ..මේ... බලන්න මගේ ඇගේ මයිල් කෙලින් වෙලා තියෙන හැටි. මතක් වෙද්දිත් අයියෝ.....අනේ.... බුදුඅම්මෝ....
ඔන්න ඕකයි කතාව. පට්ට නේද? හැබැයි බලලා හිනා වෙලා නිකන් ඉන්නෙපා කමේටුවක් දාලම යන්න හොදේ.