Monday, May 28, 2012

අපේ පැඟිරා


අපේ ඉස්කෝලෙ යාළුවො ටික මේ ළඟදි සෙට්උනානෙ. පට්ට ආතල් හො‍ඳේ. හැබැයි මුන් ටිකව සෙට් කරගන්න සෑහෙන ගේමක් දෙන්න වුනා. සෑහෙන කාලෙකුත් ගතවුනා. මොකද දැන් කස්ටිය එහේ මෙහේ විසිවෙලානේ. අවුරුදු ගානකින්වත් සමහරුන්ව දැක්කෙ නෑ. සමහරුන්ව දැක්කත් අඳුරගන්නත් බෑ ඇයි දන්නවද ඉස්කෝලෙ යන කාලේ පන් ගස් වගේ හිටපු එවුන් දැන් අලි පැටවු වගේ. ඉතිං එදා පාටිය නම් නැගලම ගියා. හැබැයි මටත් ඒ වෙනුවෙන් දවස්ම තුනක් නිවාඩු දාන්න වුනා. මොකටද දන්නවද? පලවෙනි දවස යාළුවො සෙට් එකත් එක්ක පාටියට (කාලෙකින්නේ හම්බඋනේ නේද?) දෙවෙනි දවස වමනේ දාන්න ( අහන්නෙපා මොකද කියලා) තුන්වෙනි දවස කලින් දවසේ වමනෙ දාපු අමාරුවට රෙස්ට් කරන්න.
ඉතිං ඉස්කෝලෙ යන කාලෙ  අපිට වෙච්ච දේවල් කතා කරද්දි මතක් කරපු කතාවක්  තමයි මම මේ කියන්න හැදුවෙ. ඔන්න අහගනිල්ලකො එහෙනන්....
මේක වුනේ අපි සාමාන්‍යපෙල කරන කාලෙ. හරිම නෂ්ට වයස. අපේ සෙට් එකේ හිටියා කොල්ලොම දහයක්. කොහේ ගියත් මොනව කලත් අපි එකටම තමා. අපේ හිටපු අන්තිම එකා තමා මේ “පැඟිරා” කියන්නේ. මේකා ප්‍රමානෙනුත් හරිම පොඩියි. පොත පතේ වැඩටත් හරිම කම්මැලියා. හැබැයි හරි අවංකයි. මොනව උනත් පාවල දෙන්නෙ එහෙම නෑ. පන්තියට එන ගුරුවරයට පීරියඩ් එකෙන් භාගයක්ම යනකන් කරන්න වෙන්නේ මේකව හොයන එක. මිනිහ මේ පංතියෙ ඉන්නව  ඇහි පිය ගහන මොහොතට මේකා පනිනව පන්තියෙන් එලියට. ඒ පැනල ගිහින් පාඩුවෙ ඉන්නවනම් බැරියැ. කාත් එක්ක හරි කොක්කක් දාගන්නව. ඉතිං අපිත් පැටලෙනව. අන්තිමට ප්‍රින්සිපල් සර්ගෙන් අම්බානක සංග්‍රහ භුක්ති විඳිනව. අපේ සෙට් එක මට කියන්නෙ “මලී” එහෙම නැත්නම් “මලියා” කියල. ඉතිං දවසක් අපේ එකෙක් කිව්වා “ මලියා පුස්තකාලේ පිටිපස්සේ මැන්ගුස් ගහේ මැන්ගුස් පිරිලා කඩමුද?” කියලා. ඒ වෙලාවෙ අපේ පංතියට අදාල ගුරුවරය හිටියෙත් නෑ. මමත් වැඩේ අනුමත කලා. ඔන්න ඉතිං අපිසේරම වැඩේට බැස්සා. මුලින්ම කලේ ප්‍රින්සිපල් සර් ඉන්නෙ කොහෙද කියල හොයපුඑක. සර් කාර්යාලෙත් නෑ. වාහනෙත් නෑ. කට්ටියම හිතුවා ලොක්ක එලියට ගිහින් තමා කියල. දැන් බය නෑ යකාටවත්. අපේ එවුන්ගෙන් ගස් යන්න පුලුවන් පැඟිරට විතරයි. මල පොතේ අකුරක් බැරි උනාට මූ ගස්යන්න වඳුරන්ටත් උගන්නයි. ඒතරං සූරයා.
අපේ ප්‍රින්සිපල් සර් හොඳ හයේ හතරේ පොරක්. නෙලන්න හිටියහම හෙන ගහනවා වගේ. මුකුත්නෑ පාරක් කෑවහම තිස්තුන්දාහ වැදුනා වගේ තමා. 
ඔන්න දැන් පඟිරා ගහට නැග්ගා. නැගල හිටන් මැන්ගුස් කඩ කඩා දානවා. අපි ගහ යට ඉඳන් කඩන කඩන ගෙඩිය කනවා. මාර රසයි ඈ... කට්ටියට දැන් කොච්චර කෑවත් මදි. ටිකක් වෙලා ගිහින් පැඟිරා අහනවා “දැන් ඇද්ද මචං” කියලා. අපි “තව කඩහන් තවකඩහන්” කියනවා. ඉතිං මූ ආයෙත් කඩනවා. දැන් පැඟිරා උඩටම නැගලා. කොල ගාල නිසා බිම පේන්නෙ නෑ. ඒකයි ටිකකින් අහන්නේ “දැන් ඇද්ද මවං” කියලා. අපේ එවුනුත් පෙරේත කමට “තව කඩහන් තව කඩහන්” කියනවා.

මහ වෙලාවක් ගියෙ නෑ මෙන්න බොලේ පුස්තකාලේ එහා කෙරවලෙන් ප්‍රින්සිපල් සර් මතුවුනා. කර කියාගන්න දෙයක් නෑ කට්ටියම පැනල දිව්වා. පැඟිර ගහේ. මූ දන්නෙ නෑ මෙලෝ සංසාරයක්. ඌ මැන්ගුස් කඩනවා. අපි දුවල ගිහින් තාප්පෙකට මුවා වෙලා බලා හිටියා මොකද වෙන්නෙ කියලා. අනේ අපේ අසරණ පැඟිරා ඉවරයිනෙ. ප්‍රින්සිපල් සරුත් ගහ යටට ආවා. ගහට අත්දෙක තියල උඩ බලාගෙන මොන මොනවද කියනව අපි දැක්කා. ටිකකින් මෙන්න බොලේ පඟිරා ගහෙන් බහිනවා ඇඹරි ඇඹරි. ගහ යට තිබ්බ ‍ගෙඩි ටිකකුත් අහුලගත්තා. දැන් සර් ඉස්සර වෙලා යනවා පැඟිරා පස්සෙන් යනවා. දෙන්නම ගියේ ප්‍රින්සිපල් සර්ගෙ කාර්යාලෙට. අපි නම් හිතුවෙ අද පැඟිරගේ මාරකයක් තමයි කියල. ඒ විතරක්යැ මේක අපි ගැන කිව්වොත් අපිත් ඉවරනේ.

මාරම පුදුමෙ කියන්නෙ එදා ප්‍රින්සිපල් සර් මේකට ගහල නෑ.  දඬුවමක් හැටියට මල් ගස්චලට වතුර දාන්න කියලා. අපිට ඕනේ ගහ යට ඉඳන් සර් මූට මොනවද කිව්වෙ කියල දැනගන්නයි. සර් මූට ගැහුවෙ නැත්තෙ කියල දැනගන්නයි. ඉතිං මේකා පංතියට ආපු ගමන්ම අපේ එවුන් වට කරගෙන වෙච්ච දේ අහනවා. මූ අපිට පල් පතුරු යන්න බනිනවා. අපිත් එක්ක හොඳටම තරහ වෙලා. දාල දිව්ව කියලා. හැබැයි පැයකින් දෙකකින් අයෙ ෂේප්උනා. පැඟිරටත් අපි නැතුව බෑ මොකද කොකු දාගත්තම බේරගන්න කෙනෙක් නෑනෙ. මොනව උනත් හොඳ එකා.  අපිට ඉල ඇදෙන්න හිනා. ටිකකින් මේකගේ කේන්තිය නිවුනම කතාව කියන්න ගත්තා.
මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ. අපි සර් එනකොට පැනල දිව්වනේ පැඟිරා ඔය වගක් දන්නෙ නැහැනේ. මු ඉතිං ඇහුවලු “දැන් ඇති නේද මචන්” කියලා ගහ යට හිටියේ ප්‍රින්සිපල් සර් නෙ. සර් කියනවලු “මට නම් ඇති උබට ඇතිනම් බැහැපන්” කියලා. පැඟිරා බැලුවලු කාගෙද බොලේ මේ ගොරෝසු කටහඬ හැබැයි අහල හුරුයි වගේලු.ගහේ කොල නිසා බිම පේන්නෙත් නැති නිසා මේකා උඩ ඉඳන්ම ඇහුවලු “ උඹ කවුදබන්” කියලා. සර් කියනවලු “ ආ..බැහැපන්කෝ පෙන්නන්න මං කවුද කියලා” කියල.“මල හත්තිලව්වයි යකෝ මේ පිනානෙ” කියල මූට බයටම කියවිලා. දැන් මේකව වෙවුලනවලු. බහින කොටම සම්මාන ඇතුවම හම්බු වෙනබව දන්නවනේ.
 මොනව උනත් මේක අම්බ කපටියා. ඕනේ කෙනෙක්ව අල්ලගන්න දන්නවා. මූව දැක්කමත් හරි අහින්සක පාටයි. ඒ වුනාට කරන්නෙ මගෝඩි වැඩමයි. ඉතිං පැඟිරා ගහේ ඉඳන් කියනවලු “අනේ බුදුසර් මං නොකෑවනන් වෙන මොකා හරි කනවනේ. අනික කුනුවෙලා ගියානන් අපරාදෙනේ” කියලා. සර් මේකගේ හැටි දන්නව උනත් ඒ කියපු විදිහට සර්ටත් හිනාලු. ඒපාර කිව්වලු “හ්ම්.. එහෙනන් ඔය ඉතුරු ගෙඩි ටිකත් අරගෙන වරෙන් ඔ‍ෆිස් එකට” කියලා.
එදා වැඩේ වැරදුනේ සර්ගේ වාහනේ තිබ්බෙ නැති හින්දනේ. අපි හිතුවෙ සර් එලියට ගිහින් කියලා. බැලින්නන් එදා සර් ඉස්කෝලෙට ඇවිල්ල වාහනේ සර්විස් එකට යවලා. ඉතිං අපි දන්නවයැ හත්තිලව්වෙ මේ කතන්දරයක්. හැබැයි එදා වෙච්චදේනම් පට්ටම ආතල්. වැඩේ කියන්නෙ අපිට පැඟිරව යාලුකරගන්න මාරම ගේමක් දෙන්න වුනා.යටත් ආවා. දැන් බැඳලා ළමයෙකුත් ඉන්නවා.

ඔන්න ඒකයි පැඟිරගේ  කථාව. ඉස්කොලෙ යන කාලෙ වෙච්ච දේවල් ගත්තම පොතක් ලියතැහැකි. මං හිතන්නෙ අපි හැමෝටම එහෙම තමා. ආයෙ දවසක වෙන කථාවක් කියමුකෝ. දැන් හොඳ ළමය වගේ කොමෙන්ටුවකුත් දාලම යන්නකෝ....... 



6 comments:

  1. ඔය සිද්දියට සියට 90% විතර සමාන සිද්දියක් උනා... වෙනසකට තිබ්බෙ ඔය මැන්ගුස් ගහ පැල කුරුම්බ ගහක් වීමත්... පැගිරා ළපටියා වීමත්... පිනා වයිටා වීමත් පමණයි

    ( අලුත් බ්ලොග් එකක් වගේ ... ජය වෙවා )

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන් සහෝ. පාසල් කාලෙදි මේවා නොකල කොල්ලෙක් හොයාගන්න අමාරුයි. නොකරපු එවුන් වැඩකුත් නෑ නැද්ද මචෝ. ඔයාට වෙච්ච සිදුවීමුත් දාන්නකෝ අපේ පාසල් කාලයේ ෆන් එක බෙදාගන්න. ගොඩක් ස්තූතියි ඔයාට මේ පැත්තෙ ගොඩවුනාට.

      Delete
  2. මලී..
    නියමයි පැඟිරගේ කතාව. ඇත්තටම මේවගේ කෝකටත් තෛල යාලුවෝ පාසැල් ජීවිතේදි හමුවෙනවා. ඒ අනුව නම් පැඟිරා සිරාම යාලුවෙක්. ඒ පාසල් අතීතයත් කොයිතරම් සුන්දරද?
    හැබෑවටම මොකෝ මේ අවාරෙට වාගෙ ඉදහිටලා ලියන්නෙ . ලියන්නකො සතියට එකක්වත්.

    ReplyDelete
    Replies
    1. මලීව නිර්මාණය කරන්න මෙන්ම හැමදාමත් මලීව දිරිමත් කරන දයාබර දයානන්ද අයියට ගොඩක් ස්තූතියි. මේ දවස්ටිකේ වැඩ වැඩියි. එකයි ඉඳල හිටල ලියන්නේ. අපි ආයෙ ළඟදිම එකක් ලියමුකෝ. ස්තූතියි අයියා.

      Delete
  3. "මේ පිනා නෙ" නියම කතාව !

    ReplyDelete
  4. ස්තූතියි මේ පැත්තෙ ගොඩඋනාට.

    ReplyDelete